දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Friday, August 7, 2015

කෙටල [Ketala] (Lagenandra ovata)

Lagenandra ovata සහ Lagenandra praetermissa යන උද්භිද නාමයන්ගෙන් හඳුන්වන Lagenandra ගණයට අයත් දේශීය ශාක විශේෂ දෙකක් කෙටල නමින් හඳුන්වා ඇත. බොහෝ දුරට ඖෂධ සඳහා භාවිතා කරන බව සඳහන් වන්නේ Lagenandra ovata ශාකයයි. කෙටල භූගත කඳක් (රෛයිසෝමයක්) සහිත, ඇල දොළ ගංඟා ඉවුරු ආශ්‍රිතව වැවෙන දේශීය ශාකයකි. මෙහි රේඛීය පත්‍රයක් අඩියක් පමණ දිගකට වර්ධනය වේ. පුෂ්ප මංජරිය ඡද ශුකියකි. සංයුක්ත ඵලය ගෝලාකාරය. කෙටල Araceae කුලයට අයත් ශාකයකි.

ගඬු, සැරව ගෙඩි, වණ, කැඩුම් බිඳුම්, සර්ප විෂ ආදිය සඳහා ප්‍රතිකාර කිරීමට ඖෂධ තැනීමේදී මෙහි අල භාවිතයට ගනී. බාහිර ප්‍රතිකාර සඳහා පමණක් යොදා ගන්නා බව සඳහන් වේ. ගර්භණී අවස්ථාවේ සර්ප දෂ්ඨනයක් සිදුවූ විට වැනි අභ්‍යන්තර ඖෂධ දිමට නුසුදුසු අවස්ථාවල කෙටල අල, අමුකහ, ලුණු සමඟ කොටා සාදාගත් මැල්ලුම විෂ බැස්සවීම සඳහා කෑ මුඛයට යොදයි.


කෙටල ශාකයේ කොළ, අල ආදියෙහි යුෂ මිනිසාට ආසාත්මිකතාවයන් පෙන්වයි. ඖෂධ සඳහා මෙම ශාකයේ අල භාවිතයට ගැනීමේදී වංගෙඩියේ දමා කෙටීමට සිදුන අතර මෙම අලවල යුෂ නිසා ආසාත්මිකතාවයන් ඇති විය හැකි බැවින් පොල් සමග මිශ්‍ර කර කෙටීමෙන් එවැන්නක් වලක්වා ගත හැකි ය. කෙටල ශාක බහුලව ඇති ස්ථාන ආශ්‍රිතව ගැවසෙන "කෙටල මැස්සා" නමින් හඳුන්වන කුඩා මැස්සන් විශේෂය දෂ්ට කිරීමෙන්ද ආසාත්මික ලක්ෂණ ඇති විය හැකිය. 

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති

Share:

0 comments:

Blog Archive

Powered by Blogger.

Followers

Blog Archive

Recent Posts

Unordered List

Pages

Theme Support